ටවර් හෝල් රඟහල පදනම මඟින් ක්‍රියාත්මක කරනු ලබන වියපත් කලාකරුවන් සඳහා විශ්‍රාමික ජීවනාධාර ලබාදීමේ වැඩසටහන යටතේ කලාකරුවන්ට අලුත් අවුරුදු තිළිණ ප්‍රදානය කිරීම අරලියගහ මන්දිරයේ දී පසුගියදා (08) පැවැත්විණි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරුගේ ප්‍රධානත්වයෙන් මෙම තිළිණ ප්‍රදානය කිරීම සිදු කෙරිණි.

ඒ අනුව කලාකරුවන් 20 දෙනෙකු ඇතුළත් කර ගැනීමත්, දැනට මාසිකව රු. 7,500/- ක විශ්‍රාමික ජීවනාධාරය ලබන කලාකරුවන් 102 දෙනා ද ඇතුළුව සමස්ත කලාකරුවන් 122 දෙනා සඳහා අප්‍රේල් මස සිට රු. 7,500/- ක දීමනාව රු. 10,000/- දක්වා වැඩිකර ලබාදීම සහ  අලුතින් බඳවා ගත් කලාකරුවන් සඳහා පත්වීම් ලිපි ද මෙහිදී ලබාදුණි.

ජීවනාධාර හිමි කලාකරුවන්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ලේකම් සෝමරත්න විදානපතිරණ, අමාත්‍යාංශය අතිරේක ලේකම් කේ.ඒ.ඩී.ආර්. නිශාන්ති ජයසිංහ, ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක යන මහත්ම මහත්මිහු ,ටවර් හෝල් රඟහල පදනමේ භාරකාර මණ්ඩල සාමාජිකයන් , අමාත්‍යාංශ නිලධාරිහු හා අනුග්‍රාහක දායකත්වය ලබාදුන් ආයතනයන්හි නියෝජිතවරු ඇතුළු 300 කට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.