දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි තායිලන්තයේ අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තාවීසින් මහතා (Srettha Thavisin) ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙද සහ ආයෝජන සබඳතා ශක්තිමත් කෙරෙන නිදහස් වෙළෙඳ ගිවිසුම් රැසකට අත්සන් තැබීම සිදු කෙරිණි.

76 වන ජාතික නිදහස් දින සැමරුම් උලෙළේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ද තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවිසින් මහතා අද (04) සහභාගි විය.

දෙරට අතර පැවති නිල හමුවේදී ථෙරවාදී බෞද්ධ සබඳතා හා සංස්කෘතික සබඳතා මත පදනම් වූ ඓතිහාසික මිත්‍රත්වය පිළිබඳවද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

අග්නිදිග ආසියාව සමඟ සබඳතා පුළුල් කර ගැනීමේ සහ කලාපය තුළ ශක්තිමත් ආර්ථික ඒකාබද්ධතාවක් ඇති කර ගැනීමේ ශ්‍රී ලංකාවේ නව විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව හා භාණ්ඩ වෙළෙදාම, ආයෝජනය, රේගු ක්‍රියා පටිපාටිය සහ බුද්ධිමය දේපල අයිතිවාසිකම් වැනි විවිධ අංශ ආවරණය වන පරිදි නිදහස් වෙළෙඳ, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය සහ තායිලන්ත මැණික් හා ස්වර්ණාභරණ ආයතනය අතර අවබෝධතා, ද්විපාර්ශ්වික ගුවන් සේවා යන ගිවිසුම්වලට අත්සන් තැබිණි.

තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෆුම්තම් වෙචයචායි (Phumtham Wechayachai), විදේශ කටයුතු අමාත්‍ය ජක්කපොන්ග් සන්ග්මනී (Jakkapong Sangmanee), ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පයිටූන් මහපන්නපෝර්න් (Paitoon Mahapannaporn), තායිලන්ත දුත පිරිස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන , වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා , වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු,සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ, ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා , බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක,විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක,විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් බී.ජී.ආර්.ඩබ්ලිව්. ගම්ලත් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.