1948 වසරේ නිදහස ලබා ගත් දින සිට අප රට පාලනය කළ සියලු දේශප්‍රේමීන්ගේ අදහස වූයේ ආර්ථික සංවර්ධනය සමඟ සංස්කෘතික සංවර්ධනයද අත්වැල් බැඳගෙන ගමන් කළ යුතු බවයි. රටෙහි සමාජයීය ප‍්‍රතිපත්ති සමඟ සංස්කෘතික ප‍්‍රතිපත්තිය ඒකාබද්ධ කිරීමේ අරමුණින්, 1952දී පාර්ලිමේන්තු පනතක් මඟින් ශ්‍රී‍්‍ර ලංකා කලා මණ්ඩලය පිහිටුවන ලදී. මෙම මණ්ඩලය මඟින් ශ‍්‍රී ලංකාවේ සංස්කෘතික අංශයේ ප‍්‍රවර්ධනය සඳහා පියවර කිහිපයක් ගනු ලැබුවේ වුවද, 1956දී බලයට පැමිණි නව රජයේ රාජාසන කතාවට අනුව යමින් 1956.04.12 දින සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පිහිටුවන ලදී. අධිරාජ්‍යවාදී පාලන සමයේදී විනාශයට පත් වූ සංස්කෘතික සම්ප‍්‍රදායයන් යළි ගොඩනැංවීමේ අරමුණ ඇතිව ජාතික සංස්කෘතික ප‍්‍රතිපත්තියක් සකසා එය ක‍්‍රියාවට නැංවීම මෙම අමාත්‍යාංශයෙන් අපේක්ෂිත ප‍්‍රධාන කාර්යය විය.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම සංස්කෘතික කටයුතු භාර අමාත්‍යවරයා (පළාත් පාලන හා සංස්කෘතික කටයුතු) ගරු ජයවීර කුරුප්පු මහතා වූ අතර, එතුමාගේ ධූර කාලය 1956.04.12 සිට 1959.06.08 දක්වා විය. 1959 සිට 1960 දක්වා කාලය තුළ සංස්කෘතික කටයුතු හා සමාජ සේවා කටයුතු එක් අමාත්‍යාංශයක් යටතේ විය. සංස්කෘතික කටයුතු සඳහා වෙනම අමාත්‍යාංශයක් පිහිටුවනු ලැබුවේ 1970 වසරේදීය. ඊට ප‍්‍රථම සංස්කෘතික කටයුතු පිළිබඳ විෂය වෙනත් විෂයයන් දරණු ලැබූ අමාත්‍යවරුන් යටතේ පැවතිණ. 1980.04.01 සිට මෙම අමාත්‍යාංශය යළිත් ස්ථාපනය කෙරිණ.

1994දී සංස්කෘතික හා ආගමික කටයුතු යනුවෙන් මෙම අමාත්‍යාංශය නම් කෙරිණ. 2000.10.19 වන දින නැවතත් සංස්කෘතික කටයුතු නමින් වෙනම අමාත්‍යාංශයක් පිහිටුවන ලදී. ආගමික කටයුතු විෂය වෙනත් අමාත්‍යාංශ තුනකට අනුයුක්ත කෙරිණ. නැවත වරක් 2001.09.14 දින සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය ස්ථාපනය කරන ලදී. 2001-2004 කාල සීමාව තුළ මානව සම්පත් සංවර්ධන, අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු නමින් වෙනම අමාත්‍යාංශයක් පැවතිණ. 2004දී පිහිටුවන ලද අළුත් අමාත්‍යාංශය නම් කෙරුණේ සංස්කෘතික කටයුතු හා ජාතික උරුමය පිළිබඳ අමාත්‍යාංශය යනුවෙනි. 2007දී සිදු කරන ලද අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී සංස්කෘතික කටයුතු හා ජාතික උරුමය වශයෙන් අමාත්‍යාංශ දෙකක් ඇති කරන ලදී. ඒ අනුව, අදාල ආයතනද මෙම අමාත්‍යාංශ දෙක යටතට පත් කෙරිණ. ඒ අනුව, 2007 වසරේ සිට සංස්කෘතික අමාත්‍යාංශය යටතට ගැනෙන ආයතන වනුයේ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, ටවර් හෝල් රඟහල පදනම, ජාතික චිත‍්‍රපට සංස්ථාව හා ප‍්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයයි. ගරු අනුර බණ්ඩාරණායක මැතිතුමාගේ අභාවයෙන් පසු මෙම අමාත්‍යාංශ දෙක ඒකාබද්ධ කරන ලදී. 2010 මහ මැතිවරණයෙන් පසු පිහිටුවන ලද අමාත්‍ය මණ්ඩලය තුළ සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය ඇති කරන ලදී. 2010 වසරේ සිදු කරන ලද අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසු සංස්කෘතික හා කලා කටයුතු යනුවෙන් අමාත්‍යාංශය නම් කර ඇත. 2015 මහ මැතිවරණයෙන් පසු පිහිටුවන ලද අළුත් අමාත්‍ය මණ්ඩලය තුළ අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ලෙස නම් කර ඇති අතර , අමාත්‍යාංශය යටතට ගැනෙන ආයතන වනුයේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව හා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවයි. 2018 වසරේ සිදු කරන ලද අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසු උසස් අධ්‍යාපන හා සංස්තිකෘතික කටයුතු යනුවෙන් ද පසුව නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු වශයෙන් වශයෙන්ද 2019.12.10 වන දින සිට බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය වශයෙන් අමාත්‍යාංශය නම් කර ඇත. 

සංස්කෘතික කටයුතු අමාත්‍ය ධූරය හෙබවූ ගරු අමාත්‍යවරු

ගරු ජයවීර කුරුප්පු මහතා 1956-04-12 to 1959-06-08
ගරු පී.බී.ජී.කලුගල්ල මහතා 1956-06-09 to 1959-12-08
ගරු සි.ඒ.එස්.මානික්කාර් මහතා 1956-12-09 to 1960-01-05
ගරු වාසල මුදලි එම්.අයි.එම්. කාරියප්පර් මහතා 1960-01-06 to 1960-03-20
ගරු බි.එච්. අළුවිහාරේ මහතා 1960-03-23 to 1960-07-21
ගරු මෛත‍්‍රිපාල සේනානායක මහතා 1960-07-23 to 1963- 05-28
ගරු ඩි.එස්. ගුණසේකර මහතා 1964-06-11 to 1965-03-25
ගරු අයි.එම්.ආර්.ඒ.ඊරියගොල්ල මහතා 1965-03-27 to 1970-05-28
ගරු එස්.එස්.කුලතිලක මහතා 1970-05-31 to 1975 -09 -16
ගරු ටී.බී. තෙන්නකෝන් මහතා 1975-09-17 to 1977 -07 -22
ගරු ඊ.ඇල්.බී.හුරුල්ලේ මහතා 1977-07-23 to 1988 -05 -31
ගරු වි.ජ.මු.ලොකු බණ්ඩාර මහතා 1988-06-16 to 1994 -08 -15
ගරු ලක්ෂ්මන් ජයකොඩි මහතා 1994-08-19 to 2000 -10 -10
ගරු එම්.සී.ගොපල්ලව මහතා 2000-10-24 to 2001 -08-20
ගරු රත්නසිරි වික‍්‍රමනායක මහතා 2001-09-14 to 2001 -09 -06
ගරු ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා 2001-11-14 to 2004 -04 -02
ගරු විජිත හේරත් මහතා 2004-04-30 to 2005 -06 -16
ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා 2005-07-24 to 2010-04-25
ගරු පවිත‍්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය 2010-04-26 to 2010-11-26
ගරු ටී.බී.ඒකනායක මහතා 2010-11-26 to 2015-01-08
ගරු නන්දිමිත්‍ර ඒකනායක මහතා 2015-01-12 to 2015-08-17
ගරු එස්.බී නාවින්න මැතිතුමා 2015-09-07 to 2018-05-01
ගරු විජයදාස රාජපක්ෂ මැතිතුමා  
ගරු සජිත් පේමදාස මැතිතුමා  2018.12.20-2019.11.20
ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා  2019.12.10 -2022 .05. 09
ගරු විදුර වික්‍රමනායක මැතිතුමා  2022.07.25 - Now